Launch of CBA Rewards card to Ministry of Mass Media.


මාධ්‍යවේදීන් සඳහා සහනදායි මිලට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන වට්ටම් කාඩ්පතක් හඳුන්වාදීම මාර්තු මස 30 වන අඟහරුවාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරුණි. කොළඹ ව්‍යාපාරික සංගමය හා අත් වැල පදනම ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙය සංවිධානය කරනු ලැබිය.

ව්‍යාපාරික ආයතන 500 ක පමණ ප්‍රමාණයක භාණ්ඩ සඳහා විවිධ මට්ටමේ වට්ටම් ඇතුළත් කාඩ් පතක් මේ අනුව මාධ්‍යවේදීන්ට ලබාදීම සිදු කෙරේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මෙන්ම එම හැදුනුම්පත හිමි සියලු මාධ්‍යවේදීන්ට මෙම වට්ටම් කාඩ් පත ලබාදෙන අතර නිල වශයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකින් තෝරාගෙනුණු මාධ්‍යවේදීන් දොළොස් දෙනකු සඳහා එම කාඩ්පත ලබාදීම සිදුවිය. මේ අතර දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන අවුරුදු මේලා කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක මූලික කරගෙන ඉදිරියේදී සිදු කෙරේ. ඒ අනුව සියනෑ අවුරුදු මේලා වැඩසටහන අප්‍රේල් 01-11 දක්වා කඩවතදී පැවැත්වෙන අතර ඇසිදිසි අවුරුදු මේලා වැඩසටහන අප්‍රේල් 08,09,10 රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර ,එහි අතිරේක ලේකම් හා රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රුවන් සත්කුමාර,ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය ,කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියසීල වික්‍රමනායක ,එහි ලේකම් චමින්ද විදානගමගේ ,අත්වැල පදනමේ සභාපති අමිල කංකානම්ගේ යන මහත්වරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් මාධ්‍යවේදීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.